දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීමේ දී විද්‍යාව හා දේශපාලනය

වර්තමාන ලෝකයේ වඩාත් බරපතළ පාරිසරික අර්බුදය සේ සැලකිය හැකි දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම හා සම්බන්ධ ජාත්‍යන්තර සාකච්ඡාවක්‌ පසුගිය මාසය මුල දී ජර්මනියේ බොන් නගරයේ දී පවත්වන ලදි. මෙහි දී සාකච්ඡා වූ කරුණු අනුව පෙනෙන්නේ අදාළ උත්සාහය හා සම්බන්ධ කිසියම් මිශ්‍ර ප්‍රතිඵලයක්‌ ඇති වූ බව ය. විශේෂයෙන් 2015 වර්ෂයේ දී ඇති කරගැනීමට නියමිත සැම රටකට ම බලපාන්නා වූ නව දේශගුණ ගිවිසුමක්‌ පිළිබඳ අරමුණ ශක්‌තිමත් වීම මෙහි දී ඇති වූ කැපී පෙනෙන වර්ධනයකි.

බොන් සාකච්ඡාවල අවධානයට ලක්‌ වූ වැදගත් කරුණක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා එක්‌ එක්‌ රටවල් දක්‌වන දායකත්වය තමන් විසින් ම නිර්ණය කරගැනීම සඳහා වූ උත්සාහයයි. මේ ප්‍රයත්නයට යුරෝපා සංගමයේ රටවල සහයෝගය ලැබෙන අතර එහි දී අදාළ ඉලක්‌ක වෙනත් පාර්ශ්ව විසින් නිරීක්‌ෂණය කරනු ලැබීමට නියමිත ය. මේ අදහසට ඇමෙරිකාවේ ද සහයෝගය ලැබී ඇත. දේශගුණ සාකච්ඡා ඉදිරියට යැමේ දී ඇති වූ එක්‌ මූලික ගැටලුවක්‌ වූයේ එක්‌ එක්‌ රටවල දායකත්වය නිර්ණය කිරීම වන බැවින් මේ නව යෝජනාව ඒ තත්ත්වය විස`දාලීමට යෝග්‍ය බව පෙනේ. එහෙත් එය සමස්‌ත දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කෙතරම් ප්‍රමාණවත් ද යන්න නම් තවමත් ගැටලුවක්‌ වනු ඇත. 

ඉදිරි දේශගුණ ගිවිසුමක්‌ ක්‍රියාත්මක වන්නේ 2020 දී වන බැවින් ඇති වන ප්‍රමාදය මෙහි දී අවධානයට ලක්‌ විය යුතු කරුණකි. මෑත කාලයේ දී ප්‍රකාශයට පත් බොහෝ විද්‍යාත්මක වාර්තාවලින් කඩිනමින් ක්‍රියාත්මක වීමේ ඇති වැදගත්කම අවධාරණය කර තිබේ. එවැනි නිදසුන් කිහිපයක්‌ මෙසේ දැක්‌විය හැකි ය.

විද්‍යාත්මක දත්ත පෙන්වන සත්‍යය

ජාත්‍යන්තර බලශක්‌ති ඒජන්සිය (IEA) නිකුත් කළ වාර්තාවකට අනුව වර්තමාන තත්ත්වය අනුව, ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3.6ත් 5.3ත් අතර ප්‍රමාණයකින් පමණ ඉහළ යා හැකි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, කඩිනම් පියවරක්‌ නො ගත හොත් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම බරපතළ තත්ත්වයේ ප්‍රතිඵල ඇති කරනු ඇතැයි පුළුල් ලෙස පිළිගැනෙන අංශක දෙකේ සීමාව ඉක්‌මවා යා හැකි ය. අනාගත උෂ්ණත්ව ඉහළ යැම අංශක දෙකක මට්‌ටමේ පවත්වාගැනීමට නම්, බලශක්‌තිය සම්බන්ධව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති 4ක්‌ ද මේ වාර්තාවේ දක්‌වා තිබිණි. ගොඩනැ`ගිලි, කර්මාන්ත හා ප්‍රවාහන යන අංශවල බලශක්‌ති කාර්යක්‌ෂමතාව නැංවීම, අඩු කාර්යක්‌ෂමතාවකින් යුක්‌ත ගල් අඟුරු බලාගාර ඉදි නො කිරීම හා පුනර්ජනනය කළ හැකි බලශක්‌තියේ දායකත්වය ඉහළ නැංවීම, තෙල් හා ගෑස්‌ කර්මාන්තයෙන් නිකුත් වන මීතේන් ප්‍රමාණය අඩු කිරීම හා ෆොසිල ඉන්ධන සඳහා ලබා දෙන සහනාධාර ක්‍රමයෙන් අහෝසි කිරීම වේ. (Redrawing the Energy-Climate Map,www.iea.org) 

ලෝක බැංකුව ම`ගින් පසුගිය දා නිකුත් කළ වාර්තාවකින් ද සෙල්සියස්‌ අංශක 4ක උෂ්ණත්ව ඉහළ යැමක්‌ වැළැක්‌විය යුත්තේ ඇයි ද යන්න පැහැදිලි වේ. අද වන විට දැකිය හැකි උෂ්ණත්ව ඉහළ යැම සෙල්සියස්‌ අංශක 0.8ක්‌ පමණ වන තත්ත්වයේ දී හා ඉදිරියේ දී ඇති විය හැකි සෙල්සියස්‌ අංශක 2ක හා 4ක උෂ්ණත්ව ඉහළ යැමක දී විවිධ අංශවල ඇති විය හැකි දේශගුණ බලපෑම් එම වාර්තාවේ අවධානයට ලක්‌ ව තිබේ. උප සහරානු අප්‍රිකාවේ, අග්නිදිග ආසියාවේ හා දකුණු ආසියාවේ ඇති විය හැකි බලපෑම් පිළිබඳව අවධානය යොමු කර තිබෙන අතර සෙල්සියස්‌ අංශක දෙකක සීමාවේ රැඳී සිටීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනේ. (Turn down the heat : climate extremes,regional impacts, and the case forresilience, www.worldbank.org)

ලෝක බැංකුවේ සභාපති ජිම් යොංග් කිම් ලන්ඩනයේ පැවැති සමුළුවක්‌ අමතමින් පසුගිය දා පවසා සිටියේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව වාද කිරීම නැවැත්වීමට කාලය පැමිණ ඇති බව ය. දේශගුණ වෙනස්‌ වීම ඇති කරනු ලබන්නේ මිනිසුන් ගේ කටයුතු නිසා ද යනුවෙන් තර්ක කරමින් නො සිට බරපතළ උෂ්ණත්ව ඉහළ යැමක්‌ වැළැක්‌වීම සඳහා පියවර ගැනීම කළ යුතු බව ඔහු පවසා තිබිණි. ලෝකයේ දේශගුණ විද්‍යාඥයන් අතරින් 97-98%ක්‌ අතර ප්‍රමාණයක්‌ මානව ක්‍රියාකාරිත්වය හේතුවෙන් මේ තත්ත්වය ඇති වන බව පිළිගන්නා බැවින්, යමකු මිනිසුන් විසින් දේශගුණ වෙනස්‌ වීම ඇති කළ බවට ඇති විද්‍යාත්මක සාධකවලට එකඟ නො වන්නේ නම් අදාළ තැනැත්තා එකඟ නො වන්නේ විද්‍යාවට බව බැංකු සභාපතිවරයා පවසා තිබිණි. 

දියුණු රටවල වැඩි අවධානයක්‌ අවශ්‍යයි

දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ලෝකයේ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව පැහැදිලි ය. ලෝකයේ බොහෝ ගැටලු වර්තමාන දේශගුණ වෙනස්‌වීම සමඟ බැඳී පවතී. කෘෂිකර්මය, ජල සුරක්‌ෂිතතාව, ආන්තික කාලගුණ තත්ත්වවල වර්ධනය හා දරිද්‍රතාව නිමා කිරීම වැනි කරුණු මේ අතරින් වඩා දැඩි ලෙස වඩාත් සෘජු ලෙස මිනිසුන්ට දැනෙන බලපෑම් වේ. මේ බලපෑම් ඇති වීමත් සමඟ ඇතැම් රටවල හා ජනතාව ගේ වැඩි අවධානයක්‌ දේශගුණ වෙනස්‌ වීම කෙරේ යොමු වීමට පවා ඉඩ තිබේ.

දේශගුණ වෙනස්‌ වීමෙන් බ්‍රිතාන්‍යයට සෘජු ව ඇති වන බලපෑම්වලට වඩා බරපතළ බලපෑමක්‌ වක්‍ර ව ඇති විය හැකි බව එරට ක්‍රියාත්මක පර්යේෂණ ආයතනයක්‌ පෙන්වා දෙයි. එනම් වෙනත් රටවල ඇති වන බලපෑම් නිසා බ්‍රිතාන්‍යයට ද දැඩි බලපෑම් ඉක්‌මනින් දැනෙනු ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් පාරිභෝගික ද්‍රව්‍යවල මිල ගණන් වෙනස්‌ වීම දැක්‌විය හැකි ය. විශේෂයෙන් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විචල්‍ය විය හැකි අතර එය ආහාර සැපයුමට පවා බලපෑමක්‌ ඇති කිරීමට හේතු වේ. ඇතැම් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය රටවල් කිහිපයකට පමණක්‌ සීමා වී තිබීම නිසා මේ තත්ත්වය උග්‍ර විය හැකි ය. දේශගුණ වෙනස්‌ වීම නිසා ඒවාට යම් බලපෑමක්‌ ඇති වීම නිසා සිදු විය හැක්‌කේ ඒ ආහාර සැපයුම අඩාළ වීමයි. සමස්‌තයක්‌ ලෙස දේශගුණ වෙනස්‌ වීම නිසා බ්‍රිතාන්‍යයට යම් යම් අවස්‌ථා සැලසී තිබුණ ද, ඉන් ඇති වන ගැටලු නිසා අදාළ වාසිවලට වඩා හානියක්‌ ඇති වීමට ඉඩක්‌ තිබේ. විශේෂයෙන් ආහාර අපනයනය පිළිබඳ සීමා පැණවීමෙන් ඒවායේ මිල ගණන් ඉහළ යැමක්‌ ඇති වී ගැටලු ඇති වීමට ඉඩ පවතී. (මූලාශ්‍රයInteසෘnational thසෘeats and oppoසෘtunities of climatechange foසෘ the UK, www.pwc.co.uk)

මේ අතර මෑත කාලයේ දී ඇති වූ සුළි කුණාටු වැනි ආන්තික තත්ත්වවල බලපෑම් නිසා දෝ ඇමෙරිකාවේ දේශගුණ ප්‍රතිපත්ති ද තරමක්‌ වෙනස්‌ වෙමින් ඇති බව පෙනේ. කිසියම් බලාපොරොත්තු තැබිය හැකි දේශගුණ ක්‍රියාකාරී සැලසුමක්‌ ඇතුළත් යෝජනා සමූහයක්‌ පසුගිය මාසයේ දී ඇමෙරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා විසින් ඉදිරිපත් කරන ලදි. ඇමෙරිකාවේ කාබන් විමෝචන ප්‍රමාණය අඩු කිරීමට හැකි ක්‍රියාමාර්ග ගණනාවක්‌ ඔහු දක්‌වා තිබේ. මේ අතර විදුලි බලාගාර සඳහා වූ කාබන් විමෝචන ප්‍රමිති, පුනර්ජනනය කළ හැකි විදුලි ජනනය ප්‍රවර්ධනය හා ගොඩනැ`ගිලිවල බලශක්‌ති කාර්යක්‌ෂමතාව වර්ධනය කිරීම වැනි කරුණු ගණනාවක්‌ ඇත. 2020 වර්ෂයේ දී එරටින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය, 2005 වර්ෂයේ වායු විමෝචන ප්‍රමාණයෙන් 17%ක්‌ පමණ අඩු කිරීමට ඔබාමා දුන් පොරොන්දුව මේ කතාවේ දී යළිත් අලුත් කර ඇත.

මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙතෙක්‌ ඉදිරිපත් කළ වඩාත් ප්‍රබල හා දැඩි යෝජනාවලිය වේ. එසේ ම විරුද්ධ පක්‌ෂයට වැඩි බලයක්‌ ඇති කොංග්‍රස්‌ මණ්‌ඩලය මඟහැර, ඔහු ගේ විධායක බලය භාවිත කරමින්, විදුලි බලාගාරවල විමෝචන සම්බන්ධව පරිසර ආරක්‌ෂක අධිකාරියට නියෝග නිකුත් කිරීමට ඔබාමා සූදානම් වීම පරිසරය හා සම්බන්ධව වැදගත් ඉදිරි පියවරක්‌ බව පෙනේ. ලෝක දේශපාලන නායකත්වය පිළිබඳ ගැටලුව ද මේ තත්ත්වයට හේතුවක්‌ වූවා විය හැකි ය. ජගත් මට්‌ටමේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා නායකත්වය පිළිබඳ කරුණුවල දී ඇමෙරිකාවට වඩා යුරෝපය බොහෝ සේ ඉදිරියෙන් සිටීම ඇමෙරිකාවට දරාගැනීමට අසීරු කරුණකි. කෙසේ වෙතත් ඉහත දැක්‌වූ ඇමෙරිකානු ඉලක්‌ක යුරෝපා රටවල් පිළිගෙන ඇති ඉලක්‌ක තරම් ප්‍රබල බලපෑමක්‌ ඇති කළ හැකි ඒවා නො වේ. ඇමෙරිකාවේ නව ඉලක්‌ක මේ වතාවේ දී වත් ක්‍රියාත්මක වුව හොත් එය සමස්‌ත ලෝකයට ම වැදගත් ය. වසර ගණනාවක්‌ තිස්‌සේ මේ ගැටලුව අමතක කර සිටි රටක්‌ වූ ඇමෙරිකාව මේ තරමින් හෝ ඉදිරියට පැමිණ සිටීම ලෝකයට සතුටු විය හැකි කරුණකි. එහෙත් මේ යෝජනා ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වේ ද යන්න කාලය විසින් තීරණය කෙරෙනු ඇත. 

මේ අතර ඔස්‌ටේ්‍රලියාවේ අගමැතිවරයා මාරු වී යළිත් කෙවින් රඩ් අගමැති තනතුරට පත්වීම ද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ එරට ක්‍රියාකාරිත්වයට නව පණක්‌ එක්‌ කළ හැකි බව පෙනේ. එරට හිටපු අගමැතිනිය මේ ගැන යම් උනන්දුවක්‌ දැක්‌වුව ද නව අගමැතිවරයා මේ ගැන වඩාත් උනන්දුවක්‌ දක්‌වන්නෙකි. වසර ගණනාවක්‌ කියෝටෝ සන්ධානයට එක්‌ නො වූ ඔස්‌ටේ්‍රලියාව ඊට සම්බන්ධ වූයේ මීට පෙර රඩ් අගමැති තනතුර දැරූ කාලයේ දී ය.

දියුණු වන රටවල ආදර්ශය 

මේ අතර ලෝකයට අවශ්‍ය වෙනස පෙන්වා දීමට ඇතැම් දියුණු වන රටවල් ඉදිරියෙන් සිටින බවක්‌ ද පෙනේ. නිදසුනක්‌ ලෙස ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකයට මෙන්ම වැඩි ම හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයට වගකිව යුතු චීනය ගන්නා ක්‍රියාමාර්ග දැක්‌වීමට හැකි ය. වර්තමානයේ දී එරට ගල් අඟුරු මත යෑපුණ ද සුළඟ හා සූර්ය බලය භාවිත කිරීම සඳහා සිදු කරන ආයෝජන ප්‍රමාණය ලෝකයේ අන් කිසිදු රටකට වඩා අධික ය. එසේ ම වඩා පිරිසිදු නගර හා කාර්යක්‌ෂම ගොඩනැ`ගිලි තැනීම ප්‍රවර්ධනය සඳහා ද චීනය සැලකිය යුතු පියවරක්‌ ගෙන තිබේ. එසේ ම එරට පළමු විමෝචන අලෙවි යාන්ත්‍රණය දියත් කරන ලද්දේ මින් දෙසතියකට පමණ පෙර දී ය. තවත් දියුණු වන රටවල් කිහිපයක්‌ මෙවැනි මාර්ගයක ගමන් කරමින් සිටියි.

අප මින් ඉහත දී පෙන්වා දී ඇති ආකාරයට ම වර්තමාන දේශගුණ වෙනස්‌ වීම සඳහා වැඩි වශයෙන් වගකිවයුත්තේ දියුණු රටවල් ය. මේ ඓතිහාසික වගකීමෙන් ඔවුන්ට මඟහැර යා නොහැකි ය. එහෙත් වර්තමාන ලෝක ආර්ථික-දේශපාලන පසුබිම අනුව දියුණු වන රටවල දායකත්වය නොමැති දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා කිසිදු උත්සාහයක්‌ සඳහා ඇතැම් දියුණු රටවල සහයෝගයක්‌ ලැබෙනු ඇතැයි සිතීම අසීරු ය. 

දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකයට මඟපෙන්වීමට හැකි ආකාරයේ දේශපාලන නායකත්වයක්‌ අද වන විට අවශ්‍ය වී තිබේ. මේ පිළිබඳව අපි විටින් විට පෙන්වා දී ඇත්තෙමු. මේ පිළිබඳව ලෝකයා සාකච්ඡා කරමින් සිටින අතර කාලයේ දී ද මේ ගැටලුව ක්‍රමයෙන් වර්ධනය වේ. කඩිනමින් පියවර ගැනීම අවශ්‍ය ව ඇත්තේ මේ නිසා ය.